gossip lanka

ජනපතිගේ කතාවට පිළිතුරක් : එජාපය තනි ගමනකට සුදානම්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිඳු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) නිවිතිගල මහජන පොළ භූමියේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමින් කල ප්‍රකාශය එතරම් වැදගත් එකක් නොවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

"අපි විශ්වාස කරන්නේ ඊළඟට අපි තනියෙන් යා යුතුයි කියන මතය
තමයි. කතන්දර අහන්න ඕනේ නෑනේ එතකොට. කෙසේවෙතත් පොහොට්ටුවටයි..එජාපයටයි අවශ්‍ය නම් බහුතරය හැදීමේ හැකියාව තියෙනවා. ඒත් මම හිතන්නේ නෑ.. අපිටවත් පොහොට්ටුවටවත් එහෙම උවමනාවක් තියෙනවයි කියලා." යනුවෙන් ඇමතිවරයා පවසා තිබේ.

''ශ්‍රීලනිපය අඩ තියන්න ඕන පක්ෂයක් නෙමෙයි''

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රීලනිප 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුයේ, ආණ්ඩු බලය පිහිටුවීමට වෙනත් පක්‍ෂ සමග එක් නොවී තනි ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කළයුතු බවයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩ තියන්න ඕන පක්ෂයක් නෙමෙයි. මේ පක්ෂය මේ රටේ ආණ්ඩු කරපු පක්ෂයක්. අපි නිසා කාටවත් ආණ්ඩු පිහිටුවන්න නෙමෙයි අවශ්‍ය, අපි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කරන්න ඕන පක්ෂයක්." යනුවෙන්ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

''එතුමා ඉන්නේ සිහින ලෝකෙක''

ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, ජනාධිපතිවරයා ඉන්නේ සිහින ලොවක බව කියා සිටියේය.

"එතුමා තාමත් ඉන්නේ සිහින ලෝකයක. ආර්ථිකය තමන් අතට ගන්නවා..බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා කියලා..එජාපයත් එකක් එතුමා තරහයි කියලා අතට ගත්ත ඡන්ද ටිකත් දැන් එතුමා ළඟ නෑ.. එතුමා එහෙම හිතනවා නම් හොඳම දේ වසරකට අධික කාලයක් කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම තියන එකයි." යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.