බස්නාහිර පළාත් සභාව අඩි 8 TV 8ක් බලයි

බත්තරමුල්ල කොස්වත්තේ ඉදිකළ බස්නාහිර පළාත් සභාවට අයත් නව ගොඩනැඟිල්ල සඳහා අඩි 08 ක් දිග අඩි 03 ක් පළල රූපවාහිනී ගෙන්වූයේ කාගේ අනුමැතිය මත දැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ ජනක වැලිවත්ත මහතා ඊයේ (04දා) පැවැති පළාත් සභා රැස්වීමේදී ප්‍රශ්න කළේය.

බස්‌නාහිර පළාත් සභාව එහි සභාපති සුනිල් විඡේරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් ඊයේ බත්තරමුල්ල පළාත් සභා පරිශ්‍රයේ රැස්‌වීමේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"මේ වනවිට පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා විශාල රූපවාහිනී ගෙනත් තියෙනවා. ඉන් එකක් මේ වන විටත් අධ්‍යාපන ලේකම්වරයාගේ කාමරයේ සවිකර තිබෙනවා. මේවා ගෙන්වීමට අනුමැතිය ලබාදුන් නිලධාරීන් කවුද?" යැයි පැවසූ අතර ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පලකර සිටියේය.

මන්ත්‍රීවරුන් පළාත් සභාවට පත්කළ ජනතාව මෝඩයින් නොවන බවත් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස මහජනතාව ඉදිරියට යැමේදී ගැටලු මතුවන බවත් පැවසූ ජනක වැලිවත්ත මහතා මෙය තමාට පමණක්‌ නොව සෑම මන්ත්‍රීවරයකුම මුහුණ දෙන ගැටලුවක්‌ බවද කීය. මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සභාපති සුනිල් විඡේරත්න මහතා කියා සිටියේ මේ ගැන සොයා බැලීමක්‌ කරන බවයි.

පළාත් සභා නව ගොඩනැඟිල්ල සඳහා රුපියල් ලක්‍ෂ 13 ක්‌ වටිනා ප්‍රොජෙක්‌ටර් සහ අඩි 08 ක්‌ දිග අඩි 03 ක්‌ පළල රූපවාහිනි යන්ත්‍ර 16 ක්‌ ඇණවුම් කර තියෙන අතර මේ වනවිට ඉන් 05 ක්‌ ලැබී ඇතැයි පළාත් සභා ආරංචිමාර්ග සඳහන් කරයි.