මෛත්‍රී 2015 ජනවරමට පිටුපෑවා... බල සූදුවට අපි නෑ - අනුර කුමාර

මෛත්‍රී – රනිල් ආණ්ඩුව ආරම්භයේ සිටම 2015 ජනවරමට පයින් ගසා කටයුතු කරමින් සිටි බවත් එහි උච්චතම අවස්ථාව පෙරේදා (26) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් පැලවත්ත
බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිණි.

වංචා දූෂණ නතරකිරීම, ජීවන වියදම පහළ දැමීම, අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම ඇතුළු මූලික අරමුණු වෙනුවෙන් ලැබුණු 2015 ජනවරම මුළුමනින්ම අමතක කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් තමන්ගේ පෞද්ගලික බල වුවමනාවන් වෙනුවෙන් දූෂිතයන් ආරක්ෂා කරමින් මෙන්ම තව තවත් වංචා හා දූෂණ සිදු කරමින් සිටි බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා තව දුරටත් පැවසූවේ ඔවුන්ට 2015 ජනවරමට වගකියන පාලකයන් ලෙස කටයුතු කිරීමට කිසිඳු උවමනාවක් නොපැවිති බවයි.

එදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ යම් හෙයකින් තමන් පරාජය වූවානම් තම දරුවන් සහ බිරිඳ සමග පොළව යට වැලලීමට සිදුවන බව යැයි සඳහන් කළ අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේ එදා තමන්ව ඝාථනය කිරීමට සූදානම්ව සිටියේයැයි පැවසූ මහින්ද රාජපක්ෂ සමග නැවත එක්වීම මහින්ද – මෛත්‍රී දෙදෙනාගේම පෞද්ගිලක බල වවුමනාව මත මිසක් රට හෝ ජනතාව වෙනුවෙන් නොවන බවයි.

රනිල් – මෛත්‍රී දෙදෙනාම හැට දෙලක්ෂයේ ජනවරමට පිටුපා ඇති බැවින් එම අපේක්ෂා වෙනුවෙන් හැට දෙලක්ෂයේ ජනතාවට නායකත්වය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් නව වැඩපිළිවෙලක් සමග නව කණ්ඩායමක් සමග එම ගමන යාමට ජනතා විමුක්ති පෙරමුණ වටා එකතුවන ලෙසත් අනුර දිසානායක මහතා ජනතාවට ආරාධනා කර සිටියේය.