‘රටම කැළඹිලා.. ජාතික ආරක්ෂාවත් බරපතළ අනතුරක..ඉක්මණින් කැබිනට් එක විසුරුවා දමන්න‘‘ - රතන හිමියෝ භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි

රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ ඊයේ (25) පැවසූහ.

රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය
හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ.

    ‘‘ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ වී තිබුණා.

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් හතර දෙනෙකු රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කරනවා. අපි හිතනවා එතුමා ආවාට ගියාට එවැනි ප‍්‍රකාශයක් කරන්නේ නැහැ කියලා.

මේ සියල්ල සලකා බලන විට රටේ ජාතික ආරක්ෂාව තිබෙන්නේ බරපතල අනතුරක බව නම් පැහැදිලියි. තවදුරටත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ ආණ්ඩුවට රටක වගකීමක් දරන්න බැහැ.

දැන් රටම කැළඹිලා තියෙන්නේ. ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතුයි. එය මේ වෙලාවේ කළ යුතු අනිවාර්ය කාර්යයක් ලෙයසි මා දකින්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී සියලූ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.‘‘