එජාප ඉතිහාසයේ ලොකුම පෙරළිය මෙන්න !

එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ වූ ලොකුම පෙරළිය වන්නේ සේනානායකලාට විරුද්ධව ගොස් පිහිටවූ බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ මහ ලේකම්වරයා පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් කණ්ඩායමක් සමඟ අරලියගහ
මන්දිරයේ ඊයේ (25දා) පැවැති සාකච්ඡාවකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතීත සිද්ධිය සිහිපත් කරමින් එබව සඳහන් කර සිටියේය.

ඩී.එස්. සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන් මඟ ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතා බව ද ඇමතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදී ඇති කළ ප්‍රතිපත්ති සහ ගමන් මඟ වර්ෂ 1962 කළුතර පැවැති සමුළුවේදී ඩඩ්ලි සේනානායක මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී සංකල්පයට මාරු කළේ යැයිද ඇමැතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීමෙන් පසු 1973දී ජේ.ආර්. ජයවර්ධන මහතා නැවතත් පක්ෂය අලුත් මාවතකට ගෙන යෑමට පියවර ගත් අතර රණසිංහ ප්‍රේමදාස මහතා ඒ ගමන දිගටම ගෙන ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය යළි පරාජයට පත්වීමත් සමඟ පක්ෂයේ වගකීම් භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා, හම්බන්තොට සමුළුව පවත්වා පක්ෂ ප්‍රතිපත්ති වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කළේ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

gossip lanka