නාලක සිල්වා රෝහල් ගත කිරීමෙන් බන්ධනාගාරය ඇවිලෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වයි ඕ වාට්ටුවේ වෙනත් රැඳවූවන් නොමැතිව හුදෙකලාව රඳවා සිටින බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව ඇත්තේ මැගසින්
බන්ධනාගාරයේය. එහෙත්, ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබේ.

මේ අතර නාලක සිල්වා මහතා ඊයේ රාත්‍රියේ බන්ධනාගාරය වෙත රැගෙන ඒමටත් පෙර ඔහු පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇත. කෙසේවෙතත් නාලක සිල්වා මහතාට කිසිඳු විශේෂ අසනීප තත්ත්වයක් ඇතැයි පරික්ෂා කිරීම්වලදී අනාවරණ වී නොමැති අතර එසේ තිබියදීත් ඔහු රෝහල්ගත කරන්නැයි වෛද්‍යවරයා නිර්දේශ කර ඇත.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇතිව ඇතැයි වාර්තාවේ. පසුව වෛද්‍යවරයා ඔහු පැමිණි ගිලන්රථයෙන්ම වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.