වතු කම්කරු වැටුප් වැඩි නොකළොත් ඇමැතිකම දමා යනවා -දිගම්බරම්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව මැදිහත් නොවුණහොත් ඉදිරියේදී ආණ්ඩුවට සහාය දීම පිළිබඳ නැවත සලකා බැලීමට සිදුවන බවත්, මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් නොලැබුණහොත් තමා ඇමැති ධුරය හැරදා යෑමට වුවද සූදානම් බවත් කඳුරට නව ගම්මාන, වතු යටිතල
පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පැවැසීය.

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (25දා) එම අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වතු කම්කරුවන් සෑම අවස්ථාවකම සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට බවත්, එනිසා මෙයට මැදිහත් වී ඔවුන්ගේ වැටුප් වැඩි කරදීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බවත්, එසේ නොවුණහොත් ඉදිරියේදී ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවාද නැද්ද යන්න සලකා බැලීමට සිදුවන බවත් ඔහු මෙහිදී පැවැසුවේය.

මේ වන විට වතු හාම්පුතුන් ලාභ ලබමින් සිටින බවත් එසේ සිටියදී වතු කම්කරුවන්ට රුපියල් 1,000කින් වැටුප් වැඩි කිරීමට නොහැකි බව කීම ගැටලුවක් බවටත් චෝදනා කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමයට පාඩු විඳීමට සිදුව ඇත්නම් වහා මෙයින් ඉවත් වන ලෙසයි.

එසේ නොකළහොත් කිසිදු දිනෙක නොදුටු දැවැන්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී වතු කම්කරුවන් කටයුතු කරන බවටත් අමාත්‍යවරයා අවධාරණය කළේය.


- මවුබිම