ස්වාධීන රාජ්‍යයක දේශපාලන පෙරළිවලට ජාත්‍යන්තරයට සරලව මැදිහත් විය නොහැකි

නව ආණ්ඩුව පිහිටවූ ආකාරය නිසා ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් සම්බාධක පැනවෙනු ඇතැයි ඇතැම් පිරිස් ඉදිරිපත් කරන අදහස් ජනතාව මුලා කිරීමක් බව ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ස්වාධීන රාජ්‍යයක සිදුවන දේශපාලන පෙරළි
සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට සරලව මැදිහත් විය නොහැකි බවයි.

ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතාව නිසා ශ‍්‍රී ලංකාවට සාම සාධක හමුදාවක් ගෙන්වා ගැනීමට ඇතැම් පිරිස් උත්සහ කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ලංකාවේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය මත සාම සාධක හමුදාවක් ගෙන්විය නොහැකි බවයි. එය දීර්ඝ ක්‍රියාදාමයක් බවත් සඳහන් කෙරුණා

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරක මොහාන් සමරනායකගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ශ‍්‍රී ලංකාව කෙරෙහි ඇතැම් රටවල් දැනට කරමින් සිටින මැදිහත්වීම් ශ‍්‍රී ලංකාවට හිතවත්ව සිදු කරන මැදිහත්වීම් නොවන බවයි.  අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි රටවල් මේ ආකාරයේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීමට බවද සඳහන් කළා.

ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කිසියම් යෝජනාවක් ඉදිරිපත් වුවද එවැනි යෝජනාවක් පවා සම්මත නොවනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව සම්බාධක පිළිබඳ මතු කරන බිය ජනතාව මුලා කිරීමක් බවයි මොහොන් සමරනායක ද පෙන්වා දුන්නේ.

නිවැරදි විදේශ ප‍්‍රතිපත්ති මගින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි බවද මෙහිදී විස්තර කෙරුණා.