ශක්තිමත් ආණ්ඩුවකට ශ්‍රීලනිප ප්‍රධානීන්ට ඇරයුම් !

නායකත්ව මණ්ඩලයක් හරහා තීන්දු තීරණ ගන්නා පුළුල් පෙරමුණක් යටතේ ලබන සිකුරාදායින් පසු ස්ථාපිත කරන ජාතික රජයට එක් වන්නැයි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට එරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම පුළුල් පෙරමුණ හැදීමේ සාකච්ඡා සාර්ථක වී ඇති හෙයින් ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ ප්‍රධානීන්ට මෙලෙස ආරාධනා කරන බවත්, ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට ශ්‍රීලනිපය ඇතුලේ ලොකු විරෝධයක් මතුව ඇති බවත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ ඊයේ (30) පවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ලබන සිකුරාදා වන විට පාර්ලිමේන්තුව කැඳවනු ඇති බව කී සේනාරත්න මහතා ඊළඟට හදන ආණ්ඩුවේ ශක්තිය කොපමණදැයි එවිට බලාගත හැකි වනු ඇතැයි ද කීවේය.

පැවති ජාතික ජාතික ආණ්ඩුවට වඩා ශක්තිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රජයක් ඉදිරියේදී නිර්මාණය වනු ඇතැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පැවසීය.

ඉදිරියේ හදන ජාතික ආණ්ඩුව සමඟ එකතු වන්නේ කවුරුන්දැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව ද රණවක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට සහභාගීවූහ.