රවී සැකකරුවෙකු කළ නොහැකි බව අධිකරණය තීන්දු කෙරේ

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට චෝදනා කරමින් රහස් පොලිසිය ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක එම සිද්ධියේ සැකකරුවකු ලෙස මෙම අවස්ථාවේ නම් කිරීම නීත්‍යනුකූල නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (ඔක් 08) තීන්දු කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන්
කළේ, රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණ ද, මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ අවස්ථාව වන විට නඩු කටයුත්තක් ආරම්භ වී නොමැති බවය.

එබැවින් මෙම අවස්ථාවේදී රවී කරුණානායක මහතා සැකකරු ලෙස නම් කිරීමට රහස් පොලීසිය ගත් ක්‍රියාමාර්ගය නීත්‍යනුකුල නොවන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේය.

අතුරු නියෝගයක් ඉවත් කර ගනී !

කෙසේ වෙතත්, මෙම විමර්ශනයට අදාළව නිකුත් කර ඇති නියෝග කීපයක් ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික්ස් (Global Transportation and Logistics) සමාගම විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කළේ, මෙම නියෝග නිකුත් කිරීම නීත්‍යනුකූල ආකාරයට සිදුකර ඇති බවය.

එම නියෝග ක්‍රියාත්මක කිරීම තාවකාලික ලෙස අත්හිටුවමින් තමා විසින් ඉකුත් දා නිකුත් කළ අතුරු නියෝගයක් ඉවත් කර ගන්නා බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන සිදුකිරීම සඳහා රහස් පොලිසියේ ඉල්ලීම පරිදි ඉකුත් 14 වෙනිදා තමා විසින් දෙනු ලැබූ නියෝග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ද රහස් පොලිසියට නියම කළේය.

පැමිණිල්ල නැවත ලබන 22 වෙනිදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

(බීබීසී සිංහල සේවය)


gossip lanka