අද තවත් පිල් මාරුවක් ! - ශ්‍රීලනිප අයෙක් එජාපෙට !!

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීමෙන් මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ ප්‍රධාන පක්ෂ දෙකෙහි මන්ත්‍රීවරුන් පිල් මාරුකරමින් සිටින අතර, එ.ජා.ප.යේ මන්ත්‍රිවරුන් පස්දෙනකු මේ වන විට මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඇමති ධුර ලබාගෙන ඇත.

ඒ අතර තවත් එ.ජා.ප. මන්ත්‍රිවරුන් සිවු දෙනකු මෛත්‍රී - මහින්ද රාජපක්‍ෂ
ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවට ඊයේ (31) දහවල් ආරංචි පැතිර යමින් තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර ඊයේ (31) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

දුමින්ද - මෛත්‍රී හමුවක් :

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දුමින්ද දිසානායක මහතා කැඳවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහය ලබා නොදෙන්නේ ඇයි දැයි විමසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ප්‍රතිපත්තිමය කාරනා මත රාජපක්ෂ ආණ්ඩුවක තනතුරු බාර නොගන්න බවත්, එහෙත් කිසිඳු විටෙක එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බවත් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර ඇති දිසානායක මන්ත්‍රීවරයා, නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු අද දිනයේදී එක්සත් ජාතික පෙරමුණට එක්වීමේ සුදානමක් ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.