අලුත් දේශපාලන පක්ෂයක් හදන්න එජාප හිටපු මහලේකම් සැරසෙයි - සාකච්ඡා වලට පළාත්පාලන මන්ත්‍රීවරු දෙදෙනෙකුත් සහභාගී වෙලා - (photos)

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මේ දිනවල කරනු ලබන සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂයේ වත්මන් පළාත්පාලන මන්ත්‍රීවරු දෙදෙනෙක් ද සහභාගී වී ඇති බවට තොරතුරු  වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සංවිධායකත්වය දරන කෝට්ටේ ආසනයේ කෝට්ටේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායකයා ලෙස  පත් කරන ලද චන්දිම නයනජිත් සහ ධම්මික චන්ද්‍රරත්න යන දෙදෙනා ඇතුළු පිරිසක් පසුගිය සිකුරාදා තිස්ස අත්තනායක මහතා සමග මෙලෙස  සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් නව දේශපාලන පක්ෂය සඳහා එකතු කර ගත යුතු ආකාරය සාකච්ඡා කළ බව එම හමුවට සහභාගී වූ නියෝජිතයෙකු සඳහන් කරන අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක්ද යොදා තිබුනා.

'ජනතා බලය ජනතාව වෙනුවෙන් ගොඩ නැගිමේ ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජය ඉටුකල යුතු කාර්‍ය් භාරය හා වගකිම පිලිබදව නව ප්‍රවේශයක් වෙනුවෙන් අප කථිකාවක් ආරම්භ කෙලෙමු. අප රට ගොඩ නැගිම සදහා සැබැ උවමනාවක් ඇති පුරවැසියන් එකට එකතු කරමින් දේශියත්වය හා අපේ කම් රකිමින් ජාතියන්තරය සමග ඉදිරියට යන නව ආර්ථික වැඩ පිලිවලක් අපට අවශ්‍යය .ජාතියට බත සපයන ගොවියා " වෘතිකයෙක් " කිරිම අපේ අපේ අරමුනයි . මේ වෙනුවෙන් අප ඇරඹු වෘතිකයන් හා ව්‍යාපාරික හමුවක් පසුගියදා මහරගමදි පැවැත්වුනි. මේ සදහා එක්වු හැම දෙනාම අපගේ නව වැඩ පිලිවලට උපරිම සහය වන්නට කැමැත්ත ප්‍රකාශ කලහ.'