අගමැති අර්බුදය: පාර්ලිමේන්තුව කැඳවයිද? නැද්ද ? තීරණය අද

අද (ඔක් 31) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඉල්ලීමක් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.

කතානායකවරයා එම දැනුම්දීම කර තිබෙන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබූ පක්ෂ
නායක රැස්වීමේදීය.

පාර්ලිමේන්තුව කල් දමා තිබෙන බැවින් එය නිල නොවන රැස්වීමක් බව කතානායකවරයා මුලින්ම දැනුම් දී තිබේ.

කිසියම් ලෙසකින් ජනාධිපතිවරයා එම ඉල්ලීමට සවන් නොදෙන්නේ නම්, හිටපු කතානායක ජෝසෆ් මයිකල් පෙරේරා මහතාගේ  පූර්වාදර්ශයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නේ යයි ජනාධිපතිවරයාට දැනුම් දෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මතය :
කෙසේ වුවත් පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමේ අවශ්‍යතාවක් මතු වී නැති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව කැඳවීමේ හෝ කල් දැමීමේ බලය පවතින්නේ ජනාධිපතිවරයාට බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම බලය ප්‍රකාර නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව කල් දමා ඇති බව සිය පාර්ශවයේ ස්ථාවරය වූ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිතව තිබුණේ නොවැම්බර් 05 වැනි දින අය වැය කතාව ඉදිරිපත් කිරීම සඳහා බව පෙන්වාදුන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙසින් පත්කිරීමෙන් අනතුරුව ඔහුට නව රජය පත්කරගෙන අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදීම පිණිස නොවැම්බර් 05 වෙනි දින වෙනුවට නොවැම්බර් 16 වෙනි දින පාර්ලිමේන්තුව රැස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලද බව ද සඳහන් කළේය.

එහි කිසිදු ගැටලුවක් නැති බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කතානායකවරයා වෙත යවන ලද ලිපියට අත්සන් තබන ලද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් ආණ්ඩුවට එක් වී ඇති බවය.

"ඒ නිසා ඔය ලේඛනවල නම් තිබුණට ඒවා කිසිවක් ස්ථිර ලේඛන නෙවෙයි."

අගමැතිවරයාගේ ඉල්ලීම මත පමණයි :
කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන්නේ, එම ලිපිවලට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් අතරින් කණ්ඩායමක් ආණ්ඩුවට සම්බන්ධ වී තිබුණ ද ඔවුන් නියෝජනය කරන පක්ෂවල නායකයන් නිල වශයෙන් එම ඉල්ලීම කර තිබෙන බවය.

"අවශ්‍ය නම් අලුත් ලිපියක් වුනත් දෙන්න පුළුවන් නේ? කොහොමත් තාම බහුතරයක් ඒ ඉල්ලීම කරනවනේ?," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

අනෙක් අතට කතානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවිය හැක්කේ අගමැතිවරයාගේ ඉල්ලීම මත පමණක් බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය. "එයත් කරන්න බැහැ පාර්ලිමේන්තුව කල් තැබුවම."

එහෙත් හදිසි අවස්ථාවක දී කතානායකවරයාට එවැනි බලයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී තිබේ.

මහානාහිමිවරු:
මේ අතර මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන් ද කතානායක කරු ජයසූරිය මහතා වෙත අවධාරණය කර තිබෙන්නේ මතු වී තිබෙන ගැටලුව ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව තුළින්ම විසඳා ගැනීමේ අවශ්‍යතාවය ය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සඳුදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණහ.

නව අගමැතිවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ තත්ත්වය එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පැහැදිලි කළ අතර, "රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බව" විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කළ බව ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වේ.

යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් :
මේ අතර බදාදා පැවැත්වෙන සාකච්ඡාවේදී පාර්ලිමේන්තුව යළි කැඳවීමේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පළවනු ඇති බව කතානායකවරයාගේ විශ්වාසය වී තිබේ.

"එසේ නොවුනහොත් මහජනතාව විකල්ප මාර්ගවලට යොමුවීම නොවැලැක්විය හැකිය," යනුවෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද අලුත්ම ලිපියේ දැක්වේ.

(බීබීසී සිංහල සේවය)