ප්‍රභාකරන්ගේ තවත් බංකරයක් විනාශ කරයි

යුද හමුදාව විසින් ඉකුත් 2017 වර්ෂයේදී සොයාගත් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් භාවිත කරන ලද බවට සැක කෙරෙන කිලිනොච්චියේ ඉදිකර තිබූ භූගත බංකරය විනාශ කොට දැමීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

කිලිනොච්චියේ පුන්නෙයිනිරාවි ප්‍රදේශයෙන් හමු වූ මේ භූගත බංකරය සාමාන්‍ය වැසියකුට අයත් ඉඩමක තිබී හමු වූ අතර ඔහු සිය ඉඩම බැලීමට මීට වසරකට ඉහතදී පැමිණි අවස්ථාවේදී එම බංකරය දැක තිබේ.
ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව යුද හමුදාව පැමිණ මේ ස්ථානය පරීක්ෂා කොට තිබේ.

යුද හමුදාව පරීක්ෂා කිරීමෙන් පසු මේ භූගත බංකරය තුළ ඇත්තේ මොනවාදැයි නිශ්චිතව හඳුනාගත නොහැකි නිසා ඒ ප්‍රදේශයට නොයන ලෙසට යුද හමුදාව ඉඩමේ අයිතිකරුට දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු එදිනම එම ඉඩම අතහැර ගොස් තිබේ.

යුද හමුදාව මේ බංකරය ආරක්ෂා කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති නිසාත් ඉඩම් හිමි සාමාන්‍ය වැසියාට ඉඩමේ පදිංචි වීමට අවස්ථාව සලසා දීම සඳහාත් යුද හමුදාව එම භූගත බංකරය ඊයේ (18දා) ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.