රනිල්ට පරිසරය ගැන අවධානයක් තිබුණේ නෑ - රතන හිමි

රට හමුවේ උද්ගත අර්බුද හා අස්ථාවරත්වයට එකම විසඳුම ඉක්මන් මහ මැතිවරණයකට යෑම බවත් මැතිවරණ පැවැත්වීමේ දී දෙපාර්ශ්වයටම බලය ලැබෙන යෝජනාවක් සම්මත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ (ස්වාධීන) ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැසූහ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී පවා තමන් මහ මැතිවරණයකට යා
යුතු බවට පැවැසූ බව සඳහන් කළ රතන හිමියෝ, පසුගිය රජය කිසිදු ජාතිකමය ප්‍රතිපත්තියක් නොමැතිව ‘සිංගප්පූරු ගිවිසුම’ වැනි අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ බවද පැවැසීය.

දේශීය වෙළෙඳ සමාගම් විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබියදී ඔවුන්ගේ හඬට සවන් නොදී වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ පසුගිය රජයට ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ඇති කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවද උන්වහන්සේ පැවැසූහ.

රජයේ ඉඩම් පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැතිව හම්බන්තොට ඉඩම් ලබාදීම පිළිබඳ සිහිපත් කළ රතන හිමියෝ, පරිසරය පිළිබඳ නිසි අවධානයක් පසුගිය රජයට නොතිබූ බව ද පැවැසූහ.

අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව පිළිබඳ අදහස් ප්‍රකාශ කරන අතරතුර නැඟී සිට අදහස් දැක් වූ රතන හිමියෝ, එම අදහස් ප්‍රකාශ කර වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනාවට ඡන්දය නොදී සභා ගැබෙන් පිටව ගියහ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආණ්ඩුව විසුරුවා හැරි අවස්ථාවේ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් ජනාධිපතිවරයාගේ විධායක බලතල ජනමත විචාරණයකින් හැර වෙනත් ක්‍රමයකින් කප්පාදු කළ නොහැකි බවට ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු පිරිස තීන්දුවක් ලබාගෙන ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

මේ සියල්ලට පිළිතුර මහ මැතිවරණයකට පිවිසුම බව එම හිමියෝ වැඩි දුරටත් සඳහන් කළහ.