CID ලොක්කා උසස් කර වෙනස් කිරීමේ වෑයමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ඉන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

ඔහුගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මතු නොවන ලෙස ඔහුට උසස්වීමක් ලබා දෙන මුවාවෙන් මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට
සූදානම්වන බවද පැවසේ.

පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් ලබා දීමේදී අනුගමනය කළ ආකාරයට කටයුතු සිදු නොකරන ලෙසත්, රවීට එරෙහිව සාක්ෂි සොයන ලෙසත් පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇතැයි ලංකා පුවත්පත වාර්තා කර තිබේ.

රහස් පොලිස් අධ්‍යක්ෂවරයා හා පොලිස්පතිවරයා අතර කලක සිට පවතින විරසකය ප්‍රයෝජනයට ගනිමින් මේ වෙනස් කිරීම සිදු කිරීමට උත්සාහ ගන්නා බවද පැවසේ.

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා එල්ටීටීඊ ය සමඟ කටයුතු කරන බවට චෝදනා කරමින් ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමට පසුගිය කාලයේ උත්සාහයක් දැරුවද නියෝජ්‍ය පොලිස්පති රවී මහතා පොලිස්පතිවරයාට හා පොලිස් කොමිසමට ලිපියක් යවමින් කියා සිටියේ තම පහල නිලධාරියා නිර්දෝෂී බවත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා තමන්ට ඇති චෝදනාවලින් බේරීමට මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන බවත්ය.