වහාම රවි අත්අඩංගුවට ගන්න - ඇමැති බන්දුලගෙන් ඉල්ලීමක්

පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු 39 දෙනකුට ලිට්‍රෝ ගෑස් සමාගමේ රහසිගත ගිණුමකින් මාස්පතා මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඊට නියෝග දී ඇති එවකට මුදල් ඇමැති රවි කරුණානායක මහතා වහාම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන
මහතා පැවසීය.

 මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය මුදල් අවභාවිතයක්‌ බව ද මේ පිළිබඳ අදාළ අංශ ක්‍රියාත්මක විය යුතු බව ද හෙතෙම කීය.

 දඹර අමිල හිමියන්ට 2015 සිට රජයට අයත් ලිට්‍රොa ගෑස්‌ සමාගමෙන්a මාසිකව රුපියල් 95000 බැගින් ඉන්ධන දීමනාවක්‌ ලබාදී ඇති බව ද ඒ ආකාරයට එම රහසිගත ගිණුමෙන් පුද්ගලයන් 39 දෙනකුට දීමනා ලබා දී ඇති බවට පෙරේදා (29 දා) එම සමාගමේ නිලධාරියකු අධිකරණය හමුවේ සියලු කරුණුq හෙළිදරව් කළ බව ද හෙතෙම කීවේය.

 එවකට මුදල් ඇමැති රවි කරුණානායක මහතා එම ආයතනයට මෙම නියෝගය කර ඇති බවට තොරතුරු ඇති බව ද එම නිසා වහාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ඊයේ (30 දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.