අයවැය ගැන මහා භාණ්ඩාගාරය අවිනිශ්චිත තත්ත්වයක

සති තුනක් තිස්සේ පවතින දේශපාලන අවිනිශ්චිතභාවය නිසා පැහැදිළි මග පෙන්වීමක් නොමැති හේතුවෙන් 2019 වසර සඳහා වන අයවැය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය ඉමහත් ගැටළුවකට මුහුණපා සිටින බව වාර්තා කරයි.

වසර 2015දී සිදු වූ දේ නැවතත් සිදු වෙමින් තිබෙන අතර, මාස තුනක කාලයක් සඳහා වන අයවැයක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට සිදුව ඇතැයි භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා ඇත.
මෙම දේශපාලන අවිනිශ්චිතභාවය තවත් සති කිහිපයක් පවතී නම්, වෙනත් විකල්පයක් කරා යෑමට අමාත්‍යංශයට සිදු වනු ඇතැයි ද හෙතෙම පවසා තිබේ.

දින 100 රජය ගත් පියවර අනුව යමින්, ජනතාවට සහන සැලසීම සඳහා වන විශේෂ පියවර වෙනුවෙන් ජනවාරි 19 වැනිදාට අයවැය ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුව ඇත.

එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවහොත්, රජයේ ඒකාබද්ධ අරමුදලින් තෙමසක කාලයක් සඳහා රජයේ සේවා සැපයීම හා රජයේ සේවක වැටුප් ගෙවීමටත්, මහා මැතිවරණයක් සඳහා යන වියදම ලබා ගැනීමටත් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් බලතල ලබා දී තිබේ.

මේ වන විටත්, රජයේ ඒකාබද්ධ අරමුදලින් රු. බිලියන 250කට අධික මුදලක් වැඩියෙන් වැය කොට ඇත.

රාජ්‍ය ආයතනවලින් මෙම අරමුදලට මුදල් නොලැබෙන අතර, එය තර කර ගැනීම සඳහා ණය ලබා ගැනීම මහා භාණ්ඩාගාරයට කළ නොහැකිව තිබේ.

අයවැයක් සම්මත කර නොමැති තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා රට මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව ද එම නිලධාරියා කියා ඇත.