එජාපෙ අදත් බහුතරය පෙන්වීමට සුදානමින් !

අද (30) දිනයේද පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. ඒ, රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බහුතර ඡන්දයෙන් සම්මත කිරීම හරහාය.

රජයේ මුදල්වලින් ඇමැතිවරුන්ට සහ ඔවුනගේ පෞද්ගලික කාර්ය
මණ්‌ඩල සඳහා වියදම් අනුමත කිරීමට අමාත්‍ය ලේකම්වරුන්ට බලයක්‌ නොමැති බවට එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ගෙන ආ යෝජනාව අද (30 දා) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.

මේ සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්‌ වේ.

මේ වනවිට ඇමැති මණ්‌ඩලය විසිරී ඇති බවට කථානායකවරයා විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇති නිසා සහ ඔක්‌තෝබර් 26 සිට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්‌ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසයක්‌ නොමැති බවට යෝජනාවක්‌ සම්මත කර ගෙන ඇති නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බව එජාප මන්ත්‍රීවරු සඳහන් කරති.

අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව ඊයේ (29) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව කිසිවෙක් ඡන්ද ප්‍රකාශ කළේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුවට මන්ත්‍රීවරු 85 දෙනෙකුගේවත් සහාය නොමැති බවයි.

ආණ්ඩුව යැයි ප්‍රකාශ කර ගන්නා කණ්ඩායමේ කාලය දැන් අවසන් බවත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ නීත්‍යානුකූල අගමැති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය