gossip lanka

පවතින තත්ත්වයත් සමග GSP+ සහනය අහිමි කිරීමේ සූදානමක්!

මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට සහ විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වී යනු ඇතැයි මෙරට යුරෝපා සංගම් තානාපති තුන්ග් ලායි මාර්ගේ සඳහන් කර
තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය දෙවතාවකදී නිවේදන නිකුත් කළ අතර එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූවා.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් පාර්ලිමේන්තුව කැඳවා අග්‍රාමාත්‍යවරයා කවුරුදැයි තීරණය කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ දෙන්නැයි ද යුරෝපා සංගමය එම දෙවතාවේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියා.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමඟ ජාතික සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවර සහ ක්‍රියාමාර්ග අඩපණ වීමේ අවදානමක් ඇතැයි යනුවෙන් යුරෝපා සංගමය තුළ යම් කනස්සලක් ඇති වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය සතියක කාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ රනිල් වික්‍රමසිංහ ද රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර යුරෝපා සංගම් තානාපති මාර්ගේ ද ඒ අතර වුණා.

යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළක් වන අතර ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයන සහ මත්ස්‍ය අපනයනවලින් වැඩි ප්‍රමාණයක් යැවෙන්නේ ද යුරෝපයටයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලබා දුන් දුරකතන ඇමතුමේ දී හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඔහු ඉල්ලා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ හරහා පාර්ලිමේන්තු ඡන්දයක් මගින් බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කර මෙම දේශපාලන අස්ථාවරභාවය විසඳාගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ.

මේබව සඳහන් වන්නේ අදාළ දුරකතන සංවාදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක් තුළ යි.

එසේම මානව හිමිකම් කොමිසමේ යෝජනා අනුව මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම, සමගි සන්ධාන වීම, යුක්තිය වෙනුවෙන් කැප වන ලෙසත් ඔහු ජනපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව තවා විමසිල්ලෙන් සිටින බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.

රජයේ අවධානය සාමය, ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට යොමු විය යුතු බව ද ඔහු අවධාරණය කොට තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබුණේ ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා අතර දුරකතන සංවාදය ඉතා සාර්ථක වූ බවයි.

එමෙන්ම නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ බවට සිරිසේන ජනාධිපතිවරයා ගුටරේස් මහලේකම්වරයාට දැනුම් දුන් බව යි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසා තිබුණේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති නිවේදනය පහතින්..