gossip lanka

"කැමරාව උදුරා ගෙන වීඩියෝ දර්ශන ඉවත් කරලා" ජන මහිමය වාර්තා කරන්න ගිය නෙත් මාධ්‍යවේදීන්ට තග දැමූවේ කවුරුන්ද ?

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජනමහිමය උද්ඝෝෂණය මේ වනවිට කොළඹදී පැවැත්වීමට සුදානම්ව සිටිනවා.

මෙම අවස්තාව වාර්තා කිරීමට ගිය නෙත් එෆ් එම් වෙබ් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට යම් පිරිසකගෙන් බාධා සිදුව
තිබෙනවා. අද (05) උදෑසන එකොළහට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති ජන මහිමය ප්‍රධාන වේදිකාව අසලට වාර්තා කිරීම් සදහා ගිය නෙත් මාධ්‍යවේදීන් දෙදෙනාට අනන්‍යතාවය හෙළි නොකළ පිරිසක් විසින් බාධා කිරීම් සිදු කර තිබෙනවා.

ජන මහිමය රැළියේ සංවිධාන කටයුතු වාර්තා කර පැමිණෙන අතරතුරදී මාධ්‍යවේදීන් පසුපස හඹා ආ මෙම පිරිස ඔවුන් මාර්ගයේදීම නතර කර කැමරා ආම්පන්න පැහැර ගනිමින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදු කර තිබෙනවා.

එහිදි එම පිරිස විසින් නෙත් මාධ්‍යවේදීන්ගේ කැමරා ඇතුලු උපකරණ උදුරාගෙන පටිගත කළ දර්ශන ඉවත් කිරීම සිදු කර තිබෙනවා. මෙහිදි නෙත් මාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය හැඳුනුම්පත් සහ කාර්යාල හැඳුනුම්පත් පෙන්වීම සිදු කළද එම පිරිස විසින් මෙලෙසට බාධා කිරීම නවතා නැහැ. තමන් කිසියම් ආරක්ෂක අංශයක බවත් මෙලෙසින් මාධ්‍යවේදීන් පටිගත කළ දර්ශන පරීක්ෂා කරන්නේ ආරක්ෂක විධි විධානයන්ට අනුව බව පවසා තිබේ.

මෙම බාධා කිරීම සිදු කළ පිරිස කවුරුන්දැයි නෙත් මාධ්‍යවේදීන් විසින් එම පිරිසෙන් ප්‍රශ්න කළ විට ඔවුන් සිය අන්‍යයතාව හෙළිකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබදව ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අප ප්‍රශ්න කළ සිටි අතර එහිදි ඔහු ප්‍රකාශ කළේ සිදුවීම පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය ආවරණය කිරීමට ගිය නෙත් මාධ්‍යවේදියෙකුද මෙලෙසින් ආරක්ෂක අංශයන්ගෙන් පීඩාවට පත්වූවා.

- neth