මහින්ද රජය සමයේ වංචා දූෂණ චෝදනා රැසක් එල්ල වූ නව ශ්‍රීලංකන් ගුවන් සේවා සභාපතිගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි..!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති ලෙස පත්කෙරූ ශ්‍රී ලන්කන් හා මිහින් ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා තම පත්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඔහු අද වැඩබාරගැනීමට නියමිතව තිබූ බවද සඳහන්.

ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයෙන්
ඉල්ලා අස්වීමෙන් මතුවූ පුරප්පාඩුව සදහා නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍ර‍සේන මහතා පත් කර තිබුණා.

කපිල චන්ද්‍රසේන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි පුද්ගලයා ය. ඔහු මිහින් ලංකා සමාගමේ ද ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීය.

එම යුගයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්ෂිකව රුපියල් බිලියන ගණනින් පාඩු ලැබූ අතර පසුකලෙක ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම්වල සිදු වූ දූෂණ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිසමක් ද පත් කරන ලදී.

එසේම කපිල චන්ද්‍රසේන මහතාට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ද විමර්ශනයක් සිදු කෙරුණු අතර ඔහු කලක් තිස්සේ එම විමර්ශන කටයුතුවලට සහය නොදී මඟහැර සිටියේය.