මැතිසබයට ඇවිත් මුදල් නාස්තියට ආණ්ඩුව සූදානම් නෑ

නිසි ලෙස පාර්ලිමේන්තුව කැඳවීම නොකර ජනතාවට යහපත් කිසිම දෙයක් සිදු නොකර මහජනයාගේ මුදල් නාස්ති කරන හෙයින් කතානායකවරයා කැඳවන පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂය සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය.

න්‍යාය පත්‍රයක් නොමැතිව පාර්ලිමේන්තුව රැස්වෙන තාක් එහි සැසිවාරයට
සහභාගි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩි දුරටත් කීය.

නියමිත පරිදි න්‍යාය පත්‍රයක් සකස් කර, තේරීම් කාරක සභා සහ අනෙකුත් කමිටු ස්ථාපිත කර නිසි ලෙස පාර්ලිමේන්තු සැසිවාරය පවත්වන්නේ නම් අද වුවද සැසිවාරයට සහභාගිවීමට ආණ්ඩු පක්ෂය සූදානම් බව හෙතෙම කීවේය.

හිස් න්‍යාය පත්‍රයකට අනුව කැඳවන පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වී රටේ මුදල් නාස්ති කිරීමට ආණ්ඩු පක්ෂය සූදානම් නැති බව ද අගමැති කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවන නිසා කෑම සකස් නොකරන ලෙස භෝජනාගාරයට දන්වා ඇති බවත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කෑම ගන්නට නොව ආණ්ඩු පක්ෂයේ රැස්වීම්වලට පමණක් බවත් ඒ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව රැස්වීමට දිනකට රුපියල් මිලියන 05ක පමණ මුදලක් වියදම් වන බවත් පසුගිය 14 වැනිදා සිට මේ වන තෙක් පාර්ලිමේන්තුව රැස්වීමේදී වියදම් වූ මුදලේ වගකීම බාර ගන්නේ කවුරුන්දැයි ප්‍රශ්නයක් පැනනැඟී ඇති බවත් ඒ මහතා කීවේය.

යුක්තිය ඉෂ්ඨ කර ජම්පරය ඇඳීමට අවශ්‍ය නොවන බව පැවැසූ අබේවර්ධන මහතා අයුක්තිය කළ නිසා කතානායකවරයාට ජම්පරය පේන්න පටන් ගෙන ඇති බව පැවැසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.

පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කතානායකවරයා කරල තිබෙන්නේ දේශපාලන පක්ෂත්, රටත් අරාජිකත්වයට පත් කිරීමයි.

පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම මන්ත්‍රීවරුන් 225ටම කෑම සූදානම් කරන්න වෙනවා. එතකොට මේ දිනවල සියයකට වැඩි ප්‍රමාණයක් කෑම ගන්නේ නැහැ. එහෙම වුණාම නාස්ති වන මුදලට මොකද කරන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්න තිබුණේ කතානායකවරයාටයි. එතුමා රැස් වූ පළමු දිනයේදීම තීරණය කළා නම් අධිකරණ තීන්දුවෙන් පසුව රැස් වෙමු කියලා මේ වගේ විශාල මුදලක් නාස්ති වෙන්නේ නැහැ. එම නිසා අපි දැනුත් කතානායකවරයාට කියා සිටින්නේ මේ මුදල් නාස්ති නොකර අධිකරණ තීන්දුව දෙන තෙක් පාර්ලිමේන්තුව කල් දාන්න පියවර ගන්නා ලෙසයි.