gossip lanka

නඩු යද්දි අලුත් ආණ්ඩුව LNG බලාගාර ටෙන්ඩරය චීනයට දෙන්න යයි !

පසුගිය 26 වැනිදා සිට පවත්වගෙන යනු ලබන ආණ්ඩුව විසින් කැබිනට් පත්‍රිකාවක් හරහා කෙරවලපිටිය LNG විදුලිබලාගාර ටෙන්ඩරය චීන සමාගමක්වන චයිනා ජී.සී.එල්. නම් සමාගමට ලබාදීමට සූදානම් වන බව පරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත්
විතානගේ මහතා කියයි.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

එසේම අදාළ සමාගමට කැබිනට් අනුමැතිය ලබාදීමට සූදානම්වන්නේ එම සමාගම විසින් අදාළ ටෙන්ඩරය ලබාදීමට තීරණය කර තිබූ දේශීය සමාගම වන ලක්දනව් සමාගමට එය ලබාදීම තීරණය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් විභාගවෙමින් තිබියදී බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින විදුලිබල ඉල්ලූම සපුරාලීමට 2017 වසරේදී වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු ද්විත්ව චක්‍ර LNG විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවන ලද අතර ඉදිරිපත්වූ ව්‍යාපෘති යෝජනා අතරින් පිළිගත් ටෙන්ඩර් යෝජනා සියල්ල තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක්කර, පසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ඉදිකිරීම් ටෙන්ඩරය විදුලි ඒකකයක් සඳහා අවම මිළ ඉදිරිපත් කල දේශීය සමාගමට (ලක්දනව් සමාගමට) ලබාදීමට තීරණය වී තිබූ බවද එම නිවේදනයේ දැක්වේ.

එම තීරණය අභියෝගයට ලක්කරමින් ටෙන්ඩරය සදහා මිල ඉදිරිපත් කල සමාගම් ලයිස්තුවේ දෙවන ස්ථානය ගනු ලැබූ චීන සමාගම (චයිනා ජී.සී.එල්) විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන අතර එහිදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සිය රාජකාරි සීමාවන්ද ඉක්මවා යමින් චීන සමාගම විසින් යොමු කල අභියාචනයට පක්ෂව කරුණු දක්වා ඇති බවද පැවසේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ඉහළ දැනුමක් සහ පළපුරුද්දක් සහිත සාමාජිකයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කම්ටුවත්, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල ප්‍රසම්පාදන කමිටුවත් විසින් අවස්ථා කිහිපයකදීම නිර්දේශ කල අවම මිල ඉදිරිපත්කල දේශීය සමාගමට මෙම ටෙන්ඩරය ලබා නොදී චීන සමාගමට ලබාදීමට එහිදී තීරණය විය.

එම තීරණය මත පිහිටා බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමුව තිබියදී රටට මින් සිදුවන විශාල පාඩුව පිළිබඳව සංවේදී වූ අප සංවිධානය විසින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදි.

මෙම බලාගාරයේ විදුලි ඒකකයක් සඳහා දේශීය සමාගම රුපියල් 14.98ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර චීන සමාගම රුපියල් 15.97ක ලංසුවක් ඉදිරිපත් කර තිබේ.

එම වෙනස අනුව මෙම බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සදහා ගිවිසුම්ගත වන වසර 20ක කාලය තුලදී, රුපියල් බිලියන 50ක මුදලක් රටට අහිමි වනු ඇතැයි බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතයයි. එම පාඩුව දැරීමට සිදුවන්නේ මෙරට විදුලි පාරිභෝගිකයින්ටය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමට අපොහොසත් වී ඇතැයි ප්‍රකාශ කල අතර නඩුව ඉදිරියට විභාග වෙමින් තිබේ.

එසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව විභාග වෙමින් තිබියදී ඔක්තෝම්බර් මස 24 වැනිදා විදුලිබල අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ජාවකදී ත්, ඒ වෙනුවෙන් වෙනත් බලාගාර ව්‍යාපෘතියක් දේශීය සමාගමට ලබාදීමටත් එහි සිටි නිලධාරීන් විසින් සාකච්ජා කර ඇති අතර එම සාකච්ජාව තීරණයකින් තොරව අවසන් වී ඇත.

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා මෙරට සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ මෙම ටෙන්ඩරය නව කැබිනට් මණ්ඩලය හරහා අනුමත කරවාගෙන චීනයට ලබාදීමට කූඨ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි අප වෙත වාර්තා වී තිබේ.

මෙම නීතිවිරෝධී ක්‍රියාදාමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කලා සේම, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙරට විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් ඉදිරියටත් අප පෙනී සිටින්නෙමු.