රනිල් එක්ක වැඩ කරන්න මෛත්‍රී මගක් සොයාගත යුතුයි - දි හින්දු

පාර්ලිමේන්තුවේ බහුතර සහාය සම්බන්ධයෙන් නොසලකා හරිමින් නව අගමැතිවරයෙකු පත් කිරීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනවශ්‍ය ආකාරයෙන් ශ්‍රී ලංකාව බරපතල අර්බුදයකට ලක් කර ඇතැයි මේ වන විට වඩාත් පැහැදිලි වන බව ඉන්දියාවේ ‘දි හින්දු’ පුවත්පතේ කතුවැකිය කියා සිටී.

පක්ෂ මාරු කිරීම් හරහා බහුතරය ලබාගත හැකි බවට අනුමාන කරමින්
අගමැති පදවියේ දිවුරුම් දීමට මහින්ද රාජපක්ෂ තීරණය කිරීම විමතියට කරුණක් බව පෙන්වා දෙන එම කතුවැකිය, ඔහුගේ දේශපාලන බුද්ධිය එසේ නොකිරීමට තීරණය කළ යුතුව තිබූ බව පෙන්වා දෙයි.

දේශපාලන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ ප්‍රතිඥාව මත බලයට පැමිණි ජනාධිපතිවරයා තම දේශපාලන ඥානය පෙන්නුම් කරමින් රනිල් වික්‍රමසිංහ සමග නැවතත් එක්ව කටයුතු කිරීමේ මාර්ගයක් සොයාගත යුතු බව ද එහි දැක්වේ.

තවදුරටත් රාජපක්ෂ අගමැතිවරයා ලෙසින් තබා ගනිමින් නැවතත් පාර්ලිමේන්තුව කල් දැමීමට ජනාධිපතිවරයා පියවර නොගත යුතු බව ‘දි හින්දු’ කතුවැකිය කියා සිටී.

රට දේශපාලනික වශයෙන් තවදුරටත් අනතුරේ නොහෙලා, ආර්ථික සහ සුළු ජාතීන්ගේ ගැටළු විසඳීමට ජනාධිපතිවරයා ප්‍රමුඛත්වය දීම වඩාත් සුදුසු බවද එහි දැක්වේ.