gossip lanka

කරුණා කෙළෙහි ගුණ නොදත් ගුණමකුවෙක් - සේනාධිරාජා

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කරුණා අම්මාන්ගේ දැඩි බලකිරීම මත යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි
මාවෙයි සේනාධිරාජා මහතා පෙන්වා දෙයි.

කරුණා අම්මාන්ට යළිත් වරක් රාජ්‍ය බලය ලබාගැනීමට ඇති අවශ්‍යතාවය මත ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ බලය වැඩි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු බිලිබෑමට පටන් ගෙන ඇති බවද ඔහු පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීවරු සමග කරුණා අම්මාන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙන ලෙස ඉල්ලීම් කොට ඇතත් ඔහුගේ කීම පිළිගෙන ඇත්තේ සටන් බිමේ ඔහු සමග සිටි වියාලේන්ද්‍රන් පමණක් බවද හෙතෙම කියා සිටී.

එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ කළ කරුණා අම්මාන් වැනි පුද්ගලයෙකු ගුණමකුවකු ලෙසත් කෙළෙහි ගුණ නොදන්නා අයෙකු ලෙසත් මෙහිදී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයා හඳුන්වාදී ඇත.

දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ මහතාට සහය නොදක්වන්නේ බටහිර රටවල බලකිරීම නිසා බවට කරුණා අම්මාන් ජනමාධ්‍යට ප්‍රකාශයක් කොට ඇති බව කී මන්ත්‍රිවරයා ඇත්ත තත්ත්වය එය නොව දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කළ පිරිසකට සහය දැක්වීමට ඇති අකැමැත්ත නිසා එම තීරණයේ සිටින බවද ප්‍රකාශ කොට තිබේ.