පරීක්‍ෂණ නිමවන තෙක් මන්ත‍්‍රී ධුරය අත්හරින්න - තෙවරප්පෙරුම ලෑස්තියි

පාර්ලිමේන්තුවේදී තමන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ පරීක්‍ෂණය නිම වන තෙක් මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වීමට තමා සූදානම් බව හිටපු වනජීවී ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ඊයේ (18 වැනිදා)  දැනුම්දී ඇත.

 ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම උදෙසා සහ පක්‍ෂයේ කටයුතු උදෙසා තමන්ට
ඕනෑම කැප කිරීමක්‌ කළ හැකි යෑයිද තෙවරප්පෙරුම මහතා සඳහන් කර තිබේ.

 මේ පිළිබඳව කළ විමසුමකදී පාලිත තෙවරප්පෙරුම මෙසේ පැවසීය.

 "පාර්ලිමේන්තුවේ දී පිහිය රැගෙන පැමිණියේ යෑයි මට පොහොට්‌ටුවේ අය චෝදනා කරනවා. නමුත් මම පාර්ලිමේන්තුවට පිහියක්‌ ගෙන ආවේ නැහැ. කථානායකතුමාවත්, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහාත් මම එතැනදී ගත්තේ කථානායකතුමා ගාව තිබුණු ලියුම් විවෘත කිරීමට භාවිත කරන පිහියක්‌ වැනි උපකරණයක්‌. ඇත්තටම මගේ අතේ පිහියක්‌ තිබුණා නම් තත්ත්වය ඊට වඩා වෙනස්‌ වෙනවා.

 මොනවා වුණත් මේ වන විට පොහොට්‌ටුවේ අය මට චෝදනා කරනවා. ඒ නිසා මම අපේ නායකතුමාට කිව්වා පරීක්‍ෂණ නිමවන තෙක්‌ ඕන නම් මගේ මන්ත්‍රීකම අහෝසි කර පරීක්‍ෂණ පවත්වන ලෙස. මන්ත්‍රීකම මට ලොකු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මට ඒ කැප කිරීම කරන්න පුළුවන්. කොහොම වුණත් ඊළඟ පාර මහ මැතිවරණයෙන් මම අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට එන එක වළකාලීම කාටවත් බැහැ.

- දිවයින