21 දක්වා පාර්ලිමේන්තුව කල් යයි

පාර්ලිමේන්තුව ලබන 21 වනදා දක්වා කල් තබා තිබේ.

මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය.

අද පාර්ලිමේන්තුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී
පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර දැඩි උණුසුම්කාරි වතාවරණයක් හටගත්තේය.

මේ හේතුවෙන්  සභාවාරය තාවකාලිකව අත්හිටවූ බව වාර්තා වුණා.

මේ වන විට විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වුණේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ අසුන අසලට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී කලහාකාරි ලෙස හැසිරෙමින් සිටි අතර, එහිදි මයික්‍රෝෆෝනයට ද හානි සිදු විය.

මේ හේතුවෙන් කථානායකවරයාට කිසිවක් නොකියාම පිටව යෑමට සිදුවිය.

මේ අතර, අද පාර්ලිමේන්තුව ආරම්භයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ඉන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අදහස් පල කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය නොමැති බවට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඊට අදාලව ඡන්ද විමසීමක් පැවැත්විම සඳහා සභාවේ එකඟතාව කතානායකවරයා විසින් විමසූ අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පල කරමින් කතානායක අසුන අසලට රැස්විය.

අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ සෙසු විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක අසුන අසලට රැස්වීමත් සමඟ දෙපිරිස අතර නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගත්තේය.

එහිදී දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරි තත්ත්වයක් ද හටගත් අතර මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තුවාල ලැබීය.