මැතිසබය අද යුධ පිටියක් වන ලකුණු : ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට පොරයක් !

මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ කැබිනට අමාත්‍යවරුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විශ්වාස භංගයේදී තහවුරු වූ බැවින් අද පාර්ලිමේන්තුව රැස්වූ විට ආණ්ඩුපක්ෂයේ අසුන් ගන්නේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

ඒ අතර පැවති විශ්වාසභංග ක්‍රියාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තමාගේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බව ඔහු විසින් ඊයේ රාත්‍රී කතානායකවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බව පිළි නොගන්නා බව එම ලිපිය මගින් කියා සිටින ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවකට බහුතරයක් ඇති බව හෝ නැති බව හෝ පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් හෝ නැතැයි අවධාරණය කර සිටියි.

මහින්ද ඊයේ අගමැති පුටුවේ :

කෙසේවෙතත් ඊයේ (14) දිනයේදී පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ අසුනේ මහින්ද රාජපක්ෂ මහතා අසුන් ගත්‍ අතර සභානායක අසුනේ සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතාය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මංගල සමරවීර මහතා කියා සිටියේ, පසුගිය 26 වැනිදා ව්‍යවස්ථා විරෝධීව අගමැති ධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ කැබිනට් මණ්ඩලයට ඊයේ (14) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී එම නීතිවිරෝධී භාවය නොසලකා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට ඉඩ සැලැස්වූයේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු අනෙක් පක්ෂ කලබලයකින් තොරව තමන්ට ඇති බහුතරය පෙන්වීමට ඇති අවශ්‍යතාව නිසා බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 - 2 වගන්තිය යටතේ ඊයේ පැවති විශ්වාස භංගයත් සමග අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් අහෝසි වී ඇති බව පවසන මංගල සමරවීර මහතා, එසේ තිබියදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (15) අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රකාශයක් කිරීමට සූදානම් වීම නීතිවිරෝධී කටයුත්තක් බව අවධාරණය කර සිටියි.

එසේ කිරීමට උත්සාහ කළහොත් පාර්ලිමේන්තු විරෝධයක් බලාපොරොත්තුවිය හැකි බවට ද ඒ මහතා අනතුරු ඇඟවීමක් සිදු කළේය.

මහින්දව අගමැති ලෙස පිළිගන්නේ නැහැ - කථානායක පක්ෂ නායකයින්ට සහතික වෙයි.

මේ අතර කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයින්ට පවසා ඇත්තේ, නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස අද (15) පාර්ලිමේන්තුවේදී පිළිනොගන්නා බවයි.

මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති බව ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්නුම් කර ඇති අතර ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවද පිළිගත් හෙයින් තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිවරයා ලෙස කටයුතු කළ නොහැකි බව කතානායකවරයා පක්ෂ නායකයින් අවධාරණය කර තිබේ.