gossip lanka

පාර්ලිමේන්තුව අවට විශේෂ රථ වාහන සැලැස්මක් - ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1500ක්

අද දහවල් 12 සිට පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ආණ්ඩුවට සහය පළ
කරමින් හෙට පැවැත්වීමට නියමිත රැළියක් හේතුවෙන් එම පියවර ගත් බවයි.

අදාළ කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයට සහාය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එක්ව පාර්ලිමේන්තුව අශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන උද්ඝෝෂණයට ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 1500ක් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (04) කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙම ජන උද්ඝෝෂණයට සැපයෙන පොලිස් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

ඒ අනුව එම උද්ඝෝෂණය පැවැත්වෙන පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන දියත උයන , පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා  පොලිස් නිලධාරීන් 1200ක් ද , රථ වාහන හැසිරවීම සඳහා තවත් පොලිස් නිලධාරීන් 300 ක්ද යෙදෙවෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම මෙම උදඝෝෂණයට  ඉතා විශාල පිරිසක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්ද ඊට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවද පොලිස් අධිකාරි රුවන් මහතා කීය.