පොලිසිය දෙළොවක් අතර : පුජිත්ගෙන් CID ය ප්‍රශ්න කරන්න යයි

සිදුවූ දේශපාලන අර්බුදයත් සමග පොලිසිය අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

පොලිසිය මේවන විට සාමාන්‍ය රාජකාරි, උසාවි හා මාර්ග රාජකාරි හැර විමර්ශන හා පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් ඉවත්ව සිටින බව පැවසේ.

විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකා යන අංශවල කටයුතු මේ වනවිට අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ.
කවුරුන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් නිලධාරීන් දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මොහොතින් මොහොත රටේ දේශපාලන තත්ත්වය වෙනස් වන නිසාත් පොලිසියේ සිටින්නේත් ශ්‍රී ලංකා සාමාන්‍ය ජනතාවක් නිසාත් ඔවුන් තුළද දැඩි කලකිරුණු ස්වභාවයක් පවතින නිසා පරීක්ෂණ බොහෝමයක් අඩපණ වී ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ඉරිදා රිවිර පුවත්පත වාර්තා කර ඇත්තේ දේශපාලන අස්ථාවරත්වය පහව ගිය පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටලු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බවයි.

මෙම ප්‍රශ්න කිරීම දීර්ඝව සිදු කිරීමට යන බවත්, එය දින කිහිපයක් සිදුවිය හැකි බවත්, එම පුවත්පත වාර්තා කර තිබේ.