මෛත්‍රී 113 පෙන්නන්න මහින්දට පැය 48ක් දෙයි ! - මන්ත්‍රී මිළ ආයෙත් නගියි !!

ඉදිරි පැය 48 ක් තුලදී පාර්ලිමේන්තුව තුල බහුතරය පෙන්වීමට අවශ්‍ය දිව්රුම් පෙත්සම් තමා වෙත ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ යයි ඉදිරි දින තුන ඇතුළත පෙන්වන මෙන් උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් පත්කර සිටි ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළේය.

"රනිල් වික්‍රමසිංහ එක්ක කොයි විදියටවත් ආණ්ඩුවක් කරන්නේ නෑ කියල ජනාධිපතිතුමා කීව. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අපිට වැඩ ටික කරගෙන යන්න කීව," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී මන්ත්‍රීවරුන් 113කට වැඩි බහුතරයක් ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයි කියන තිලංග සුමතිපාල, එස්.බී.දිසානායක හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන්ට දොස් පවර ඇතැයි වාර්තාවේ.

අයෙත් මිල ඉහල ගිහින් !

කෙසේවුවද ජනාධිපතිවරයාගේ නියෝගයත් සමග යලිත් වතාවක් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මෙහෙයුමක් ඇරඹි ඇති බවත් මන්ත්‍රීවරුන්ගේ මිල කෝටි ගණනකින් ඉහල ගොස් ඇති බවත් ඉහත දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජාතික අමතමින් වත්මන් අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් මුදලට විකිනෙන බවට ප්‍රචාරයක් දියත්ව තිබු බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කරමින් කියා සිටියේ "විශේෂයෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ තත්ත්වය පසුගිය සතිය වන විට දේශපාලන වශයෙන් මෙන්ම සමාජමය වශයෙන් විනයගරුක සහ සදාචාරාත්මක සහ ශීලාචාර සමාජයක් ගොඩනැගීමේ කාර්යය උරුම වී තිබෙන රටේ උතුම්ම ස්ථානය, ජනතා පරමාධිපත්‍ය පැහැදිලිවන ඉහළම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් රුපියල් මිලියන 100 සිට 150 දක්වා, ඒවගේම ඇතැම්විට සමහර මන්ත්‍රීවරු මිලියන 500 දක්වා මිල නියම කර පෙන්වන්න පටන් ගත්තා." යනුවෙනි.