gossip lanka

පාර්ලිමේන්තුව විසුරවන්නේ නැහැ - මහින්ද කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂයට ඇති බවත්, මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවා නොහරින බවත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා
මහතා පවසන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (07) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කරමින් යන බවයි. සිය ෆේස්බුක් ගිණුමට ඔහු කළ සජීවී වීඩියෝවක මේ බව දැක්වෙයි.

"මහින්ද - මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න.

සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර හැක්කේ අවුරුදු 4 හමාරකට පසුවයි. ඒ කාලය උදාවෙන්නේ 2020 පෙබරවාරි මාසයේයි. එසේ නැත්නම් පාර්ලිමේන්තුවේ තුනේන දෙකක බහුතරයකින් විසුරුවාහැරිය හැකිය.

වැරදි දේශපාලන තීරණයක් හරහා රට විනාශයට රැගෙන ගිහින් 14 දා පරජය වෙන එක වහගන්න නීතිවිරෝධී අංක දෙක කුමන්ත්‍රණයට යනවා. මේකට එරෙහිව කටයුතු කළ යුතුයි." යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.