gossip lanka

මහින්දට එක්වූ වියාලේන්ද්‍රන්ව පක්ෂයෙන් පන්නන්න යයි

නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් සංවිධානයේ එස්.වියාලේන්ද්‍රන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට ඔහුව පක්ෂයෙන් නෙරපන ලෙස ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඊයේ (03) සවස ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටින්නේ එස්.වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තරඟ කොට ජයග්‍රහණය කළත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඇත්තේ ප්ලොට් සංවිධානය යටතේ බවයි.
ප්ලොට් සංවිධානය ඔහුට ඒ පක්ෂය හරහා මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබා දී ඇතත් ප්ලොට් සංවිධානයේ හෝ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අනුදැණුමකින් තොරව ඔහු අගමැති කාර්යාලය වෙත ගොස් අමාත්‍යධූරයක් ලබාගැනීම ප්ලොට් සංවිධානය කිසිසේත්ම අනුමත නොකරණ බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ප්‍රකාශ කරයි.

ලිපියක් මගින් මේ දැණුම්දීම කොට ඇති ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හමු වී වහාම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමටත් කටයුතු කරණ ලෙස ඉල්ලා තිබේ.

මේ අනුව 5 දා සිට එස්.වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයට හෝ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට හෝ ප්ලොට් සංවිධානයට අයත් නොවන පුද්ගලයෙකු ලෙස නම් කිරීමට මාවෙයි සේනාධිරාජා මහතා ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාට එකඟ වී තිබේ.

(දිනසේන රතුගමගේ)