ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුව කල් යයි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රන්දුණු මුදියන්සේලාගේ ශෙහායා උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය දෙසැම්බර් 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

ඒ, එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

ශෂී වීරවංශ මහත්මිය විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් ආගමන විගමන පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ ඇගේ උපන් දිනය 1967 වසරේ බවට සටහන්ව පැවති නමුත් ඇගේ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ ඇගේ උපන් දිනය සටහන්ව තිබුණේ 1971 වසරේ ලෙස බවට විමර්ශනවලදී හෙළිදරව් වී තිබිණි.

-lankanewsweb