මහින්ද මහ මැතිවරණයෙන් පස්සේ සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ…

ව්‍යවස්ථා විරෝධිව හෝ මීළගට පවත්වන මහ මැතිවරණයෙන් පසුව ශූර හා කපටි දේශපානඥයකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව සතපහකට ගනන් ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රටේ අවනීතියට හා ව්‍යස්ථා
උල්ලංඝණයට එරෙහිව කොටිකාවත්ත නගරයේ සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට එක් වෙමින්ය.

දැන් බහුතරය තියෙනවා නම්, ජනමතය තියෙනවා නම් පුළුවන්නම් ජනාධිපතිකමින් ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් තියලා බලන්න. කවුද දිනන්නේ කියලා. එහෙම තියලා තමන්ට ඡන්දය දුන්න ජනතාවගේ මූනේ දැලි ගාන්නේ නැතිව, තමන්ට ජනවරම තියෙනවා කියන එක ඔප්පු කරන්න, තමන් කියපු දේවල් ජනතාව පිළිගන්නවා කියන එක ඔප්පු කරන්න. එහෙම කරන්න තරම් කොන්දක් නෑ.ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ කියන හොර අගමැති එක්ක එකතුවෙලා ක්‍රමන්ත්‍රණය දියත් කරන්නේ. අපි අහනවා හිතට එකගවද විමල් වීරවංශට නිවාස ඇමතිකම දුන්නේ. කොහොමද ජොන්ස්ටන් ප්‍රනාන්දුට සතොස ඇමතිකම දුන්නේ.

මහින්ද රාජපක්ෂ කියන ශූර කපටි දේශපානඥයා මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බාට පස්සේ තඹ දොයිතුවකට , සත පහකට සිරිසේන මහත්තයාව ගනන් ගන්නේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණය ජයග්‍රහණය කරපු ගමන් ජනාධිපතිවරණයක් තියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් පත් කරගන්නවා. අපි මැතිවරණයකට යන්න ලෑස්තියි. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න කැමතියි. හැබැයි අපි කැමති නෑ ව්‍යවස්ථා විරෝධී මැතිවරණ ව්‍යාපාර වලට එකතු වෙන්න. හැබැයි ජනතාව කිව්වොත් ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා, අපි ඒ ජනවරමෙන් යලි බලයට පත්වෙනවා. එතෙක් අපේ සටන නතර කරන්නේ නෑ..

– මිනුර රෂාන්ත