gossip lanka

වැරදි ෆොටෝ එකක් පෙන්වූවාට මංගලගෙන් කෝටි 10ක වන්දි ඉල්ලයි

තමන් LTTE ත‍්‍රස්තවාදියකු බවට ජනමාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියේ සිය ඡායාරූපයක් පෙන්වා අපහාස කළ බව සඳහන් කරමින් හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගෙන් රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජාතිකයකු එන්තරවාසියක් එවා ඇති
බව වාර්තා වෙනවා.

ලෝගේස්‌වරන් ධර්මලිංගම් නමැති මෙම දෙමළ ජාතිකයා කොළඹ 12 පිහිටි නික්‌ලෝ ඇසෝසියේට්‌ නීතිඥ සමාගම මගින් මංගල සමරවීර වෙතට මෙම එන්තරවාසිය යොමු කර ඇති බව සඳහන්.

කාලයක සිට LTTEයේ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවට එරෙහිව ස්‌විට්‌සර්ලන්තයේ සිටිමින් දැඩි ලෙස ක්‍රියා කරන ලෝගේස්‌වරන් නමැති මෙම දෙමළ ජාතිකයා හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්‌ෂ ඉතාලියට ගිය අවස්‌ථාවක එහි ගොස්‌ දෙමළ සම්ප්‍රදායානුකූලව සාළුවක්‌ පොරවා පිළිගෙන තිබෙනවා.

ඔහු LTTE ත්‍රස්‌තවාදියකු බව සඳහන් කරමින් මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ඉදිරියේ පෙන්වා ඇත්තේ එසේ මහින්ද රාජපක්‌ෂ පිළිගත් අවස්‌ථාවේ ගනු ලැබූ ඡායාරූපයක් බවයි වාර්තා වන්නේ.

සිය එන්තරවාසිය මංගල සමරවීරට යොමු කරමින් රුපියල් කෝටි දහයක වන්දිය දින දහහතරක්‌ ඇතුළත ලබා දිය යුතු බවත් එසේ නොවුණහොතේ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු දැනුම් දී තිබෙනවා.