ශ්‍රී ලනිපය දෙකඩ කර එජාපය එකතු කළාට ස්තූතිය !

බෙදී වෙන්ව තිබූ එක්සත් ජාතික පක්ෂය එක් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ස්තුතිවන්ත වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

වත්මන් දේශපාලන වාතාවරණය හා ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම
සම්බන්ධයෙන් වූ කඳුරට ජනතා පෙරමුණ නියෝජිතයන්ගේ රැස්වීමේදී රාධාක්‍රිෂ්ණන් මහතා මෙසේ පැවැසීය.

''පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය තුළ විවිධ මත ගැටුම් ඇති වුණා. ඇතැමුන් පක්ෂය හැර යෑමට පවා සූදානම් වුණා. නමුත් ජනාධිපතිවරයාගේ කටයුතු නිසා මුළු එක්සත් ජාතික පක්ෂයම නැවත වරක් සමඟි වී තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා ඔහුගේ මතයට නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කළා. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ විශාල වෙනසක් ඇති වුණා. සිදු වුණේ වෙන්ව බෙදී සිටි සියලු දෙනාම සමඟිවීමයි. නායකත්ව මට්ටමේ සියලු දෙනා සමඟි වීම නිසාම බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයොත් ඒ වෙනුවෙන් පෙළ ගැසී තිබෙනවා.

මහින්ද පොහොට්ටුවට !

එසේම මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණට එක්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් අර්බුදකාරී තත්ත්වයකට පත් කොට තිබෙනවා. පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වනු ඇතැයි සිතුවත් එසේ සිදුවූයේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ තරම් අර්බුදයකට ලක්වීමටත් එකම හේතුව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයයි.

මේ සියලු ගැටලුවලට විසඳුමක් ලබාදිය හැක්කේ ජනතාවටයි. ජනතාව බහුතරයක් සහිත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතුයි.''