gossip lanka

මහින්දට එරෙහි විශ්වාසභංගයට TNA සහාය !

ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස නම් කල මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරන ලද ආකාරය හා ධූරයේ සිටි අග්‍රාමාත්‍යවරයෙකු පහකළ අකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වීමත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට හානි වන ක්‍රියාමාර්ගයක් වීමත් මත මෙම තීරණය ගත් බවද එම සන්ධානය අවධාරණය කර සිටියි.

රටතුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය පිළිබද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම 02 වනදා පස්වරුවේ රැස්ව ගෙන ඇති මෙම තීරණය ප්‍රකාශ කරමින් නිකුත් කල මාධ්‍ය නිවේදනයෙන් මේ බව සදහන් කර සිටියි.

බහුතරයක් නොමැති පුද්ගලයෙකු !

එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් ප්‍රකාශ කර බහුතරය පෙන්වීම සදහා අමාත්‍යධූර හා මුදල් අල්ලස් වශයෙන් ලබාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පිළට එක්කර ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවත් තම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතාද එම කුමන්ත්‍රණයට හසුවීම දැඩි සේ හෙලා දකින බවත් දෙමළ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි.

මෙම හේතුන් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැඩි ලෙස උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස අග්‍රාමාත්‍යධූරයට පත්කර සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදෙන බවත් මෙවන් අවස්ථාවක මධ්‍යස්ථව සිටීම අරාජිකත්වය ජයගැනීමට ඉඩදෙන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බවත් එම සන්ධානය සිය මාධ්‍ය නිවේදනය තුළින් අවසන් වශයෙන් අවධාරණය කර සිටියි.

කතානායකට බාරදුන් විශ්වාසභංගය :

ජනාධිපතිවරයා විසින් පසුගියදා නම් කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පෙරේදා (02) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට එම විශ්වාභංග යෝජනාව භාර දී තිබේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ මෙසේ ද සඳහන් වෙයි.