මහින්ද ළඟට ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් අද රනිල් ළඟට !

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වී මැති ඇමතිකම් ලබාගත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද (14) යලි රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා එක්වීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු ඊයේ රාත්‍රී මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ
පදවියෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, බදාදා පාර්ලිමේන්තුව යළි කැඳ වූ විට තමන්ට බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට සූදානම් බව කියා සිටියේය.


අද පාර්ලිමේන්තුව කැඳවූ විට බහුතරය පෙන්වා ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති පාලනය යළි පිහිටුවන බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකර සිය ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්කළේ ඔක්තෝබර් 26 වෙනි දිනය.

අද තීරණාත්මකයි ! - ජවිපෙ කියයි 

අද (14) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම තීරණාත්මක වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) ලබාදුන් තීන්දුව වඩාත් ශක්තිමත් කිරීමට එහිදී හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 'නෙත් නිව්ස්' වෙත පැවසිය.

පාර්ලිමේන්තුව අද දිනයේ රැස්කිරීම නීත්‍යානුකූල නොවන බවට සිදු කෙරෙන ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා, එහිදී පෙන්වා දුන්නේ කථානායකවරයා අද පාර්ලිමේන්තුව රැස්වන බව දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව බවයි.

කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එම තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා නීති උපදෙස් ලබාගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට ප්‍රථම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින යළි කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණි.






































අායෙත් පාර්ලිමේන්තුව විසුරුවයි ද ?

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් අනතුරුව යළි කැඳවන අවස්ථාවක, රටේ විධායක ජනාධිපතිවරයා ද එම උත්සවයට එක්වී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවීම සාමාන්‍ය සිරිතය.

එහෙත් පාර්ලිමේන්තුව යළි කැඳවන අවස්ථාවේ ජනාධිපතිවරයා එයට සහභාගිවීමේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ නීතිමය අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක මහතා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව යළි කැඳවනු ලැබ තිබුණ ද, අවශ්‍ය නම් ඒ අතරවාරයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනාධිපතිවරයා සතු බවත් නීතිවේදී ලාල් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.