එජාපෙ - ශ්‍රීලනිප හවුලකට අලුත් වැඩපිළිවෙලක් !

එක්සත් ජාතික පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යළි හවුල් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වූ ඒකාබද්ධ දේශපාලන වැඩපිළිවෙලක් ලබන බදාදාට (05) පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මේවනවිට කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ
නියෝජිතයින් අතර ඊයේ (30) රාත්‍රී පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිකර ගත් එකඟත්වයක් අනුවය.

මීට ඉහතදී සම්මත කෙරුණු විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දෙසැම්බර් 5 වෙනි දින විවාදයට ගැනෙන යෝජනාවට ඉලෙක්ට්‍රොනික ක්‍රමය ඔස්සේ ඡන්දය විමසූ විට අගමැතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ඊයේ (30) රාත්‍රී ප්‍රකාශ කර ඇති බව 'බීබීසී සිංහල සේවය' වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් 'බීබීසී සිංහල සේවය' සමග අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා කියා සිටියේ, එය අලුත් විශ්වාසභංග යෝජනාවක් නොවන බවය.

"මීට ඉහතදී සම්මත කෙරුණු විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන පස් වෙනිදා විවාදයට ගැනෙනවා," ඔහු පැවසීය.

ජනපති හා සාකච්ජා පලදායක ලු !

ජනාධිපතිවරයා ඊයේ (30) රාත්‍රී එක්සත් ජාතික පෙරමුණ සමග පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ වැඩි විස්තර මෙතෙක් අනාවරණය වී නැතත්, ඒ සම්බන්ධයෙන්' කල විමසීමකදී ඊට එක්ව සිටි එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ එම හමුව සාර්ථක බවයි.

කෙසේවුවද එම සාකච්ජාවේදී අත්කරගත් එකඟතාවයන් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශකළ නොහැකිබව පැවසු එම මන්ත්‍රීවරයා, ඉදිරි දින කිහිපය තුලදී සාර්ථක ප්‍රතිපලයක් බලාපොරොත්තු වියහැකි බවත් ඔක්තෝම්බර් 26 ට පෙර පැවති යහපාලන ආණ්ඩුව යළි ස්ථාපිත කිරීමට එජාපෙ එකඟ බවත් වැඩිදුරටත් කියා සිටියේය.