සිරිපාලට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන ගැන සැකයක් ?

ජනාධිපති නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධ පෙත්සම් විභාගය විනිසුරුවරුන් 9ක් හෝ 11කින් සමන්විත සම්පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මේ ඉල්ලීම කරනු ලැබුවේ අගමැති කාර්යාලයේ ඊයේ (13)
පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අවසන් තීන්දුව නොව පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් සාම්ප්‍රාදායිකව නිකුත් කරන නියෝගයක් පමණක් බවද ඇමැතිවරයා එහිදී කීවේය.

කථානායක කරු ජයසූරිය මහතාට පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයකු හෝ ඇමැති මණ්ඩලයක් පත්කිරීමේ බලයක් නැති බවත් එය කළ හැක්කේ විධායක ජනාධිපතිවරයාට පමණක් බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අදාලව ඉදිරියේදී ලිඛිත විරෝධතා ගොනුකරන බවයි.

මෙය අවසන් තීන්දුව ලෙස සිතාගෙන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ජනතාව මුලාකරණ බවද ඒ මහතා කීවේය.

නමුත් ලබන 4 වනදා සිට පෙත්සම විභාගයට ගන්නා බැවින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බවට අධිකරණය හමුවේ කරුණු කීමට අපේක්ෂා කරන බවද ඇමැති වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.