ලබන වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - කිරිඇල්ල

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එළැඹෙන වසරේ ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සිදුකළ ප්‍රකාශයක් පිළිබදව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත.

එළැඹෙන වසරේ පෙබරවාරි 04 වැනිදාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි එම්.ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයෙන් එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බවද පැවසු මන්ත්‍රීවරයා එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ආණ්ඩුවකට එකතු නොවුන හේතුව !

'2015 වසරේ ආණ්ඩු වෙනසට දෙමළ ජාතික සන්ධානය විශාල දායකත්වයක් ලබා දුන්නා. 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කෙරුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම එහි අරමුණ වුණා.

2015 අගෝස්තු මාසයේ සිටම දමිළ ජාතික සන්ධානයට, යහපාලන ආණ්ඩුවට එක් වීමට ආරාධනා ලැබුණා.
එක් වරක් ජනාධිපතිවරයාම අපෙන් ඇහුවා. ආණ්ඩුවට අපිට එකතු වෙන්නේ නැත්තේ ඇයි කියලා? මට පෞද්ගලිකව නම් ආරාධනා ලැබුණේ නැහැ.

ආණ්ඩුවට එකතු වෙලා ඇමැතිකම් භාර ගන්න අපට ආරාධනා ලැබුණා. නමුත් ජාතික ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් අපි කිසිම ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ.

උතුරු - නැඟෙනහිර ඒකාබද්ධය :

ජනතා විමුක්ති පෙරමුණ හා අපි එකතු වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එයට අප අමුණා ඇති වාර්තාවේ උතුරු - නැඟෙනහිර ඒකාබද්ධ කළ යුතුයි කියලා සඳහන් කර තිබෙනවා. මහජන එක්සත් ජාතික පෙරමුණ විතරයි එයට අකැමැති වුණේ.

ජනතා විමුක්ති පෙරමුණ කීවේ මේ අවස්ථාවේ එය අවශ්‍ය නැති බවයි. පළාත් ඒකාබද්ධ වෙනවා නම් එහෙම එකතු වෙන්න පුළුවන්. නමුත් එයට ජනමත විචාරණයක් අවශ්‍ය කියලා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා.

පසුගියදා අගමැතිවරයා මහ නායක හිමිවරුන් බැහැදැක තිබුණා. එහිදී බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණා. එයට අපගේ විරුද්ධත්වයක් නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා වගේම අනෙක් ආගම්වලටත් සමානව සැලකිය යුතුයි.

මහින්දලා කියපු කාරණය :

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බාධා කරන්න තමයි ආණ්ඩු වෙනසක් කළේ කියලා. නමුත් අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ අපිට අරමුණක් තිබුණු නිසා.

ඒ අරමුණ විනාශ වෙන විදියටත්, නීතියට ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වන ලෙසත් ඔක්තෝබර් 26 වැනිදා වෙනස්කම් ඇති වුණා. ඒ අනුව අපි එම තත්ත්වය පරාජය කරන්න කටයුතු කළා.

දැන් කඩිනමින් නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු ආරම්භ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අපට එකතු වෙලා එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැනටමත් විශේෂඥ කමිටුව සකස් කොට ලබා දුන් වාර්තාවේ තිබෙන කරුණු පාර්ශ්ව තුනම සලකා බලමින් සිටිනවා.

තුනෙන් දෙකක් ගන්න පුළුවන් :

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණු නිසා බහුතරය නැති බව කියනවා. නමුත් ශ්‍රී ල.නි.ප.යෙන් 20 - 21ක් ආණ්ඩුවට එක් වෙන්න සිටිනවා කියනවා.

ඒ නිසා ඒ අය අතරම අර්බුදයක් ඇති වෙලා. පක්‍ෂ කාර්යාලයත් වහන්න සිද්ධ වෙලා තිබෙනවා. එම පිරිස ආවොත් අපට 150කට වැඩි පිරිසකගේ සහාය ලබා ගන්න පුළුවන්.''