බර නඩු 120ක පොලිස් පරීක්ෂණ අවසන් - අජිත් පී පෙරේරා

බර නඩු 120 ක පොලිස් පරීක්ෂණ අවසන් කර ඇති බවත්, ඒවා සම්බන්ධ තීන්දු ගැනීමේ වගකීම දැන් පැවරී ඇත්තේ නීතිපතිට හා අධිකරණයට බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ උදෑසන වැඩසටහනකට එක්වෙමිනි.

රාජපක්ෂ සමයේ වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් දිනපතා නඩු අසා තීන්දු ලබා ගැනීමට විශේෂ මහාධිකරණය ආරම්භ කළ ද ව්‍යවස්ථා ක්‍රමන්ත්‍රණය හේතුවෙන් එය පසුපසට තල්ලූ වූ බවද ඔහු කියා සිටියේය.

"ගම්පෙරළියේ සල්ලි මහින්ද ආපහු යවලා”

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගම්පෙරළිය සඳහා එක් දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 200ක් නැත්නම් කෝටි 20ක් වෙන් කළ බවත්, මහින්ද රාජපක්ෂ මහතා කෙටි කලකට අගමැතිව කටයුතු කළ සමයේ එම මුදල් ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇති බව ද ඔහු හෙළිකළේය.

ගම්පෙරළිය වැඩ පිළිවෙළින් ගම දියුණු කිරීමට විශාල රුකුලක් ලැබෙන බවත්, රාජපක්ෂ මහතා සිදු කළ මේ ක්‍රියාව හේතුවෙන් එසේ ලැබුණු මුදලින් ගමට මේ වසර අවසානය වන විට වැඩ කිරීමට නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.