'නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් නැහැ' - එජාපය කියයි

වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වනතුරු මහමැතිවරණයකට යාමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ පාර්ශවයට අවශ්‍යව ඇත්තේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතැයි ලොවට පෙන්වීම බවද ඔහු මෙහිදී පැවසිය.

කෙසේවුවද සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් නොමැති හෙයින් වහාම මහ මැතිවරණයකට ගොස් ජනතාවගේ ජනවරමක් ලබාගත යුතු බවයි.

ඔහු මේබව කියා සොටියේ, ඊයේ (27දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

''දෙමළ සන්ධානයේ ඡන්ද ටිකත් එක්කම ආණ්ඩුවට තියෙන්නේ 102යි. ඒ නිසයි අපි කිව්වේ බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් තියෙන නිසා මැතිවරණයකට යමු කියලා.'' යයි ඔහු තවදුරටත් පැවසිය.