අපි බලයට ආවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ - බන්ධුල පිළිගනී

රුපියල දැවැන්ත ලෙස කඩාවැටී ඇති බවත් ආණ්ඩුව වෙනස්වීමෙන් හෝ තමන් යළි බලයට පැමිණීමෙන් හෝ අතින් අල්ලා මෙම ප්‍රශ්නය විසඳීමට හැකියාවක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

රටේ පවතින මිල පීඩනය ජනතාවගේ බොක්කට පමණක් නොව උණ්ඩුකපුච්ඡයටත් දැනෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

මුදල් අමාත්‍යාංශය නොලැබීම නිසා රවී කරුණානායක මහතා කෝපයෙන් සිටින බවත් අමාත්‍ය ධුර නොලැබුණු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා හමුවී තම දුක කියා ඇති බව පැවසූ ඒ මහතා ඒ අතර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශ විෂයන් නව රජයට නොපවරන ලෙස සහ ජනාධිපතිවරයාගේ බලය උපරිමයෙන් ක්‍රියාත්මක කරන ලෙස ඇතැම් පාර්ශ්ව ඒ මහතාගෙන් ඉල්ලා සිටින බවත් බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.