මහින්ද කණ්ඩායම කථානායකට දණ ගහලා වඳින්න ඕනෑ - බිමල්

මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායක කරූ ජයසූරිය මහතාට දණ ගසා වැඳ සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

 කථානායකවරයාගේ තීරණයක් පිළිගැනීමට නොහැකි බව පවසා ඔහුට ඉතා නින්දිත, තුච්ඡ ආකාරයෙන් බැණවැදුණු රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී
පිරිස ම අද කථානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුවයැයි ප්‍රකාශ කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

"කථානායකවරයා විපක්ෂ නායක වශයෙන් සම්බන්ධන් මහතා නෙවෙයි රාජපක්ෂ මහතා කියලා ප්‍රකාශ කළාම, කථානායකරයාව දොහොත් මුදුන් නඟලා වඳින පුදන තත්වයට පත්වෙලා තියෙනවා දැක්කාම අපිට හිනා යනවා. කථානායකවරයාගේ තීරණය ගැන අපිට විවාදයක් නෑ. කථානායකතුමාට ලංකා ඉතිහාසෙ කරන්න පුළුවන් නරකම වචනවලින් කතා කරපු, තුච්ඡ ම වචනවලින් කතා කරපු, නින්දිතම ලෙස හැසිරිච්ච කණ්ඩායමක් අද කියනවා කථානායකවරයාගේ තීන්දුව අවසාන තීන්දුවයි කියලා.

මම කියන්නේ හරි නම් ඔය කණ්ඩාය්ම මෙතන දණ ගහලා වඳින්න ඕනේ කථානායකට. දණ ගහලා වැඳලා සමාව ගන්න ඕනෙ තමන් කරපු අපරාධවලට" යනුවෙන් බිමල් රත්නායක මහතා සඳහන් කළේ ඊයේ (19) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමිනි.