බුදු පිළිම විනාශ කිරීම රැල්ලට යයි.. උඩුනුවර, යටිනුවරත් බුදු පිළිම කඩා දමයි…

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇති බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (26) දිනයේ පුද්ගලයින් 05දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අද දිනයේ ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 05දෙනා ලබන ජනවාරි මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද (27) දිනයේ අත්අඩංගුවට ගැනුණු සැකකරු මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථානවල පිහිටුවා ඇති බුද්ධ ප‍්‍රතිමාවලට හානි කළ පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් කොටුකර ගෙන ඊයේ පොලීසියට භාරදී තිබුණා.

ඔහුගෙන් කළ ප‍්‍රශ්ණ කිරීමට අනුවයි සෙසු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර උඩුනුවර ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමාවලට ද නාඳුනන පිරිසක් අද හානි හානි කර තිබෙනවා. යටිනුවර ශ‍්‍රි දොඩන්වල නාථ දේවාලය අභියස ඇති විහාර මන්දිරයට ද කිසියම් පිරිසක් ඉකුත් දා හානි සිදු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද මාවනැල්ල ප‍්‍රදේශයට ගොස් සිටින බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.