මාෆියාව ත්‍රීවීල්කාරයාගෙ ද ? මීටර්කාරයාගෙ ද ?

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් පහළ දැමීමට සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය එකඟතාවයකට පැමිණ ඇතත් මීටර් භාවිතා කරනු ලබන ත්‍රිරෝද හිමියන් මේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක වන බැවින් ඉදිරියේදී සෑම මසකම 10 වැනිදාට ඉන්ධන මිල වෙනස්වන්නේ නම් ඔවුන්ගේ ත්‍රිරෝද රථවල සවිකරනු ලබන මීටර්වලද එම වෙනස්කම් සිදු කළ යුතුවන්නේ සිය මීටර් වෙනස් කිරීමට ඒවා මිලදිගත් සමාගම්වලට රුපියල් 150/ක මුදලක් ගෙවමිණි.

ලංකාව තුළ ත්‍රිරෝද මීටර් ගෙන්වන ප්‍රධානම ආයතනය වන්නේ ලිංක් ලංකා සමාගමයි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර කාරියකරවන මහතාගෙන් මේ සම්බන්ධයන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මීටරයේ මිල ගණන් වෙනස් කිරීමට වරකට රුපියල් 150/- ක් සිය සමාගම අයකරන බවයි. ඒ එම මිල ගණන් වෙනස් කිරීමට සේවක සහය අවශ්‍ය බවත් ඒ සඳහා සිය සමාගමට පිරිවැයක් දැරීමට සිදුවන බැවින් එම මුදල අයකරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහල පහල යාම අනුව ඉන්ධන මිල වෙනස්කරනු ලබන්නේ පාඩු නොලැබීමට බවත්, එසේම සිය සමාගමද මේ මුදල අයකරනු ලබන්නේ පඩු නොලැබීමට ද බව කී තුෂාර මහතා පාරිභොගිකයා කෙරෙහි අනුකම්පාවක් අත්නම් ත්‍රිරෝද රථ හිමිකරුවන්ද එම පාඩුව මාසිකව දැරිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්නකර සිටියේය.

ඔහු කියා සිටියේ මෙරට ඇති මීටර් ත්‍රිරෝද රථවලින් 95%ක් සිය සමාගමෙන් ගන්නා ලද මීටර් සවිකරන ලද ඒවා බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ ලංකාවේ ලියාපදිංචිව ඇති ත්‍රිරෝද රථ ප්‍රමාණය මිලියන 1.2ක් පමණ වන බවත්, ඉන් ලක්ෂ 8කට ආසන්න ත්‍රිරෝද රථ ප්‍රමාණයක මීටර් සවිකර ඇති බවද සඳහන් කළේය.

කෙසේවුවද, ලිංක් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මීටර් ත්‍රිරෝද රථ ලක්ෂ 3කට වැඩි වන බවත්, එය ලක්ෂ 5කට අඩුබවත්ය.

මීටරේ ගණන්..

මේ අතර, ත්‍රීරෝද රථ මීටරයක් සාමාන්‍යයෙන් රුපියල් 8,250/- සිට රුපියල් 12,500/- දක්වා මිලක් වේ.

ස්මාර්ට් මීටරේ

ලෝකයේ ටැක්සි රථ රියදුරන් මේවන විට ලංකාවේ ත්‍රිරෝද රථ භාවිතා කරනු ලබන ආකාරයේ මීටර් භාවිතා කිරීම අත්හැර ඇති අතර ඔවුන් දැන් භාවිතා කරනු ලබන්නේ ස්මාර්ට් මීටර් වේ.

ස්මාර්ට් මීටරයක් භාවිතා කළේ නම් එක පණිවුඩයක් මගින් සියලුම මීටර්වල මිල ගණන් වෙනස් කිරීමේ හැකියාව තිබේ.