ගෝඨාගේ කෞතුකාගාර නඩුව දිනපතා විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන වසරේ ජනවාරි මස 22 දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (04) නියෝග කළේය.

ඒ, මැදමුලන ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී
රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා ගොනු කළ නඩුවක් සම්බන්ධයෙනි.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය මූලික විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී අධි චෝදනාවලට අදාල ඒ ඛාණ්ඩයට අයත් සියලුම ලේඛණ විත්ති පාර්ශ්වය වෙත භාර දී ඇති බවත් විත්තිය විශේෂිතව ඉල්ලා ඇති ලේඛණ ද ඉදිරියේ ලබා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා දැනුම් දුන්නේය.

ඒ අනුව එම ලේඛණ විත්ති පාර්ශ්වයට ලැබී ඇත්දැයි සොයා බැලීමට නඩුව ජනවාරි මස 3 වැනිදා කැඳවීමට නියමිතය.